Sunday, September 4, 2016

දෙකයි දහය 2.10

හරි කොහෙන්ද දැන් මේක පටන්ගන්නේ, කතාව වෙනස් වෙනදට වඩා ....... අවුරුදු 12 ක් 6ක් අතර පරණ මතකයන් ටිකක් අදින්නයි මේ ලෑස්ති වෙන්නේ, ඇයි? හේතුවක් තියෙනවා . ලඟදි , ලඟදි කිව්වට මාස දෙකකට වගේ කලින් විශේෂ කෙනෙක්ව ආයෙත් මුණගැහුන , එදා හිතුන මේක ලියල දාන්න ඕනි කියල එත් කැම්පස් එකේ විභාග සහ ඊට පස්සේ සෙට් උන පොඩි වැඩක් නිසා වැඩේ අමතකම වෙලා ගියා .... එත් මේ ලඟදි දවසක ......................................... ආයෙත් අර විශේෂ කෙනාව මතක් උනා පොඩි සිදුවීමක් නිසා. ඒ කොහොමද , මගේ වෙන්න වයිෆ් ලඟදි දවසක එයාගේ මූණු පොතේ ගිණුමේ පොඩි අවුලක් වෙලා සෙටින් වගයක් වෙනස් කරන්න කියල මට දුන්න Username , password හරි ලොග් උනා කියමුකෝ , ගිය වැඩේ කරලා ලොග් අවුට් වෙන්න යනකොට මෙන්න පෙන්නනවා suggestion එකක් .......ඔව් අර විශේෂ කෙනාගේ profile එක ......................ආයෙත් අවුරුදු ගානක් අතීතයට ගියා .අදනම් මේක ලියල දානවමයි.

කොහොමද එත් පරණ සිද්දි මතක් කරගන්න ඒ කාලෙට යන්නේ, ........................... එකටත් ක්‍රමයක් හොයාගෙන තමයි වැඩේ පටන්ගත්තේ. මගේ හාඩ් එකේ තියෙනවා ෆෝල්ඩර් එකක් , සින්දු විතරයි වෙන මුකුත් නෑ . එකෙත් තියෙනවා එක ෆෝල්ඩර් එකක් 2005 - 2011 වගේ කාලේ මම සින්දු එකතු කරපු. අන්න එකට ගිහින් සින්දු ටික play කරාම ඔය එන්නේ ගානට ඒ කාලේ වෙච්ච දේවල් චිත්‍රපටියක් වගේ..... සින්දු වලට අතීතය මතක් කරන්න ලොකු හැකියාවක් තියෙනවා...

දැන් එමු title එකට . මොකද්ද 2.10 ? ................... 2.10 තමයි නුවර ඉඳන් නාවලපිටියට හවස school train එක පිටත් උන වෙලාව. ඒ කියන්නේ අද මම කියන්න යන්නේ කෝච්චියක් ගැන ,, අඩු වැඩි වශයෙන් ඔව් ... එත් කෝච්චියක් ගැන විතරක් නෙවෙයි කෝච්චියත් එක්කම මගේ ජිවිතේ ගලාගෙන ගිය හැටි ගැන .. ගොඩක් අය මුණගැහුන , ගොඩක් දේවල් උනා . තාමත් මතක් වෙද්දී ඒ කාලෙට යන්න හිතෙනවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ජිවිතේ තිබුන හොඳම කාලේ . හැබැයි ඉතින් කියලම පටන්ගන්නම් මහා ලොකු විශේෂ දෙයක්නම් නෑ . වල්පල් තමයි.

ඉස්කෝලේ ගැන කිව්වොත් ,, නෑ නෑ ඒ ගැන කියන්න අයිතියක් නෑ . ඒ කොටස හැලුව . ඊළඟ කොටසට යමු

පොඩිකාලේ ඉඳල 6 වසර වගේ වෙනකන් ඉස්කෝලේ ගියේ පාසල් සේවය වැන් එකක . එපාම කරපු කාලයක් . කිසිම වැදගත් දෙයක් නෑ .. 6 වසරේ ඉඳන් පටන්ගත්ත බස් එකේ යන්න . 8 වසර වගේ වෙනකන් බස් එකේ ගිය, පතෝල වැටකොළු වගේ තමයි . හොඳකුත් නෑ නරකකුත් නෑ . 8 වසරේදී තමයි ලොකු වෙනසක් උනේ . ගෙලිඔය ඒ කියන්නේ මම පදිංචි වෙලා හිටපු පළාතේ ඉඳන් නුවර අපේ ඉස්කොලෙටම යන අපේ පන්තියේම කීප දෙනෙක් කිව්වා දවසක් , මචන් අද හවස යමන් කෝච්චියේ .......... පොඩිම කාලේ ඉඳන් මම ඕනි වාහනයකට කැමතියි . කොච්චි ඒ ලිස්ට් එකේ උඩම තිබුන නිසා දෙපාරක් හිතන්නේ නැතුව හා කියල මාත් ගියා . ඒ කාලේ 2.10 ට නෙවෙයි 2.30 ට තමයි හවස කෝච්චිය ගියේ . ඉස්කෝලේ ඇරුනේ 2 ට . වෙනදනම් මම 2.30 / 2.35 වෙනකොට බස් එකේ ගිහින් ගෙලිඔය බැහැල . ආසාව නිසාම හිටිය 2.40 වගේ වෙනකන් කෝච්චිය එනකන්. ඉස්කෝලේ තියෙන්නේ නුවරට මෙහා , ඉස්කෝලේ ලඟින්ම කෝච්චියට නගින්න පුළුවන් නිසා එතැනින්ම නගින්නම් කියල ගියා . මෙන්න බලනකොට අඳුරන සැහෙන පිරිසක් ඉන්නවා .

ඊළඟ වාරේ ඉඳන් සීසන් එකකුත් ගත්ත , පරක්කු උනත් කමක් නෑ පොඩි කාලේ ඉඳල තිබුන කොච්චි උණ නිසා ඔන්න ඔය විදිහට කෝච්චියේ යන්න පටන්ගත්ත . උදේ කොච්චියේත් යන්න පටන්ගත්ත. ඔන්න ඔහොමයි කතා වලට ප්‍රවේශ වෙන්නේ . හප්පටසිරි ප්‍රවේශයේ දිග. එක පොස්ට් එකකින් ඉවර කරන්න බැරි වෙයිද මන්ද.

10 වසර වගේ වෙනකන් වැඩි විශේෂයක් නෑ ඉතින් ඔන්න ඔහේ ගියා , ෆුට් බෝඩ් යන එක, කෝච්චි ගැන ගොඩක් දේවල් ඉගෙනගත්ත එක ඔය කාලේදී උනා . කතන්දර පටන්ගන්නේ දැන් තමයි. 10 වසර කියන්නේ ඉතින් කියන්න ඕනි නෑ නේ . දිග කලිසම් ඇඳලා , රැවුල වැවෙන්න අරන් අර විරුද්ධ පාර්ශවේ අය ගැන හැඟීමක් එන්න පටන්ගන්න්න කාලෙනේ. අවාසනාවකට ( ඔව් මේකනම් පට්ටම අවාසනාවන්ත එකක් . මට අතීතයට යන්න පුලුවන්නම් මම ගිහින් මගේම පොඩි කාලේ එකාට ගහනවා කන පැලෙන්න ) වගේ ඔන්න මටත් ඔහොම සිද්දියක් උනා කියමුකෝ. කතාව පටන්ගත්ත ...................

දවස , 2007 නොවැම්බර් 10 ( ද 17 ද කියල මතක නෑ . කොහොමහරි මේ දවස් දෙකෙන් එකක් . මේ දවසත් මට මතක නෑ . පරණ කැලැන්ඩර් බලල අමාරුවෙන් ගාන හදාගත්තේ ) සෙනසුරාද දවසක් . මම ක්ලාස් ගිහින් එන්න බස් එකකට නැග්ග . වාහන ගැන ඒ කාලේ ඉඳන්ම හොයන නිසා බස් එක මතකයි . නාවලපිටිය ඩිපෝවේ බස් එකක් NW79 TATA බස් එකක් , අර මහින්ද රාජපක්ෂ ජනාදිපති වෙලා ලංගම අයෙත් පිහිටවල මුලින්ම ගෙනාපු බස් සෙට් එකේ බස් එකක් ( ලඟදි මුන් බස් එක වෙනස් කරලා දැන් NW79 යන්නේ leyland එකක් ) නැගල ඉඳගත්ත ජනේලයක් අයිනේ . දැකල පුරුදු ගෑනු ළමයෙක් බස් එකට නැගල මම හිටපු සීට් එකේ එහා පැත්තේ ඉඳගත්ත , ඉස්කෝලේ ඇඳුමෙන්ම , සෙනසුරාද . මටත් ගානක් නෑ  මොකද මගේ අතට මුලින්ම ෆෝන් එකක් හම්බුනේ ඒ සතියේ එදා තමයි මුලින්ම ඕක ගෙදරින් එලියට අරන් ගිය දවස . ඒ නිසා අවධානය තිබ්බේ එකේ . එත් ඉතින් දැකපු දේවල් දෙක තුනක් ඔලුවට දාගත්ත .

එක - එයාට බස් සීසන් එකක් තිබුන
දෙක - පස්සේ මතක් උනා මෙයා අපේ ක්ලාස් එකේ
තුන - අන්තිමටම මතක් උනා කෝච්චියේදී දැකල තියෙනවා හැබැයි උදේද හවසද කියල ගානක් නෑ

බස් එකෙන් බැහැල යන්න හදල නිකමට ආපහු බස් එක දිහා හැරිලා බැලුව. මම හිටපු සිට එක දිහා ...................................................... ඔන්න මගේ ජිවිතේ අවුරුද්දක් විතර සිස්ටම් අවුල්  කරපු පලවෙනි හේතුව . අර ගෑනු ළමය මගේ දිහා බලල හිනා උනා ආයේ කවදාවත් අමතක නොවන විදිහට .( පස්සේ කාලේදී කැම්පස් ඇවිත් එක එක ක්ලාස් වලට ගිහින් ගොඩක් ගෑනු ළමයින්ව මුණගැහුන , ඊට වඩා ගොඩක් ලස්සන අය එත් කවදාවත් ඒ වගේ පිස්සු හැදිලා අයෙත් හැදෙන හිනාවක්නම් මේ තරම් කාලෙකට දැකල නෑ ) ඔය හිනාව තමයි මාව කෑවේ. නපුරු කලට සතහට පැමිණෙති විපත කිව්වලුනේ. ඒ තප්පරේට මගේ සිස්ටම් අවුල් ගිහින් , ප්‍රෝග්‍රෑම් රීසෙට් වෙලා අර ගෑනු ළමය ගැන පිස්සු වැටිලා ඉවරයි. එක පාරටම තොල කට වේලිලා ගිහින් . හාට් බිට් එක 200 ට වගේ නැගල , දාඩිය දාල ඒ ගමන්ම සීතලට හිරිගඩු පිපිලා මගේ භෞමික අඛණ්ඩතාවය නැති වෙලා ගියා වගේ සීන් එකක් තමයි උනේ ( කොහොමත් ඊට පස්සේ එයාව දකිනකොට, පස්සේ මුලින්ම එයාට කතා කරපු දවසේ වගේ ගොඩක් වෙලාවට මට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරා )  ........... ඔන්න බස් එකෙන් බැහැල ගෙදර ගියා .

ඒ දවස්වල තමයි සන්ජේ ලීලා බන්සාලි ගේ saawariya ෆිල්ම් එක ආවේ. ඔකේ තේමා ගීතය තමයි ඒ දවස්ව ල මගේ ඔලුවේ නිතරම තිබුනේ, ඒ නිසා මේ සිද්දියටත් ලස්සනට ඒක සම්බන්ධ උනා. ඒ නිසා ඔය සින්දුව  අහනකොට ඔය සිද්දිය තාමත් මතක් වෙනවා





දැන් ආපහු කෝච්චියට ..........

ඔන්න ඉතින් ඊළඟ සඳුදා උදේ කෝච්චියට සෙට් උනා (මේකට කියන්නේ 236 කියල. මේ කෝච්චිය ගැනනම් කියන්න කතා අනන්තයි අප්‍රමානයි ඒවා පස්සේ. ) පුරුදු විදිහට ඉස්සරහින් නගින්නේ නැතුව ගියා  පස්සට . ඔව් මම නැතත් හිත කාවදෝ හෙව්වා. හොයාගන්න බෑ. කෝච්චිය දිගයිනේ අප්පා ..... අයෙත් ආව ඉස්සරහට අද්දන්නත් ලඟයි මැද හරියෙන් එල්ලුනා . කෝච්චියේ යන්න අරන් අවුරුදු දෙකක් ගියත් මම කෝච්චිය ඇතුලේ වෙන දේවල් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ . එක වෙනම උප සංස්කෘතියක් ඔන්න ඔය උප සංස්කෘතියට මාව නිරාවරණය වෙන්න ගත්තේ මේ දවසේ ඉඳන් . මෙච්චර දවස් දොරේ එල්ලිලා ගියාට අද එහෙම බෑ , හොයාගන්න එපැයි කොහෙන්හරි. ගියා ඇතුලට , හප්පා සෙනග මට ඕව අදාළ නෑ බෑග් එකත් එල්ලන් රවන ඔරවන අයව ගණන් ගන්නේ නැතුව ඉස්සරහට ගියා . ම්ම්හු නෑ ........පේරාදෙණියේදී ටික වෙලාවක් නවත්තල තියෙනවා කොළඹ කෝච්චියට යන අයට මාරු වෙන්න . ඔන්න ඔය වෙලාවේදී සෙනගත් අඩු උනා ... මම බැහැල platform එකේ ඇවිද ඇවිද ඉන්නවා. කොහෙද බන් උඹ යන්නේ , යමන් අපිත් එක්ක පස්සට අපේ ඉස්කෝලෙම එකෙක් ඇවිත් කිව්වා. වෙන කරන්න දේකුත් නැනේ . ඔන්න ඔහේ ගියා පස්සට, ඔන්න සෙට් උනා කෝච්චියේ නියම සෙට් එකට.

මෙන්න මෙහෙමයි සොයාගැනීම් ( එදා නෙවෙයි ඊට පස්සේ ගත උන කාලේදී )

ඉස්සරහම පෙට්ටිය - මෙලෝ රහක් නැත . බොහෝවිට නිතරම කෝච්චියේ නොයන , ප්‍රදාන දුම්රිය ස්ථාන වලින් නගින අය. තනි තනි මගින් බහුලය.

2, 3 පෙට්ටි වැදගත් විදිහට යන සාමාන්‍ය මගින් , පුරුද්දක් විදිහට කණ්ඩායම් විදිහට ඒ පෙට්ටියේම යන අය යම් ප්‍රමාණයක් ඇත . ඉස්කෝලේ යන ගෑනු ළමයි, පොඩි අය වැඩි ප්‍රමාණයක් යන්නේ මේ හරියේ . හප්පා සෙනග

4 - ඔන්න හොඳම හරිය පටන්ගන්නවා. වැඩි හරියක් කණ්ඩායම් විදිහට ඒ ඒ තැන් වලම හැමදාම යන අය. රැකියා වලට යන අය වගේම ඉස්කෝලේ යන අයගේ කණ්ඩායම් එහෙමත් ඉන්නවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා හොඳ සංගීත කණ්ඩායමකුත් හිටිය , කොච්ච්චියේ සින්දු කියන ඉස්කෝලේ යන සෙට් එකක්.

5 හෙවත් අන්තිම පෙට්ටිය, මෙන්න නියම තැන . හිටපු නසරානිම සෙට් එක ඉන්නේ මේකේ . මැර ටයිප් සෙට් එක , ෆුල්ම ආතල් සෙට් එක  ඔක්කොම මේකේ .බහුතරය ඉස්කෝලේ යන අය.එක ඔෆිස්  සෙට් එකකුත් හිටිය ඒ ගැන පස්සේ ලියන්නම්. මොකද පස්සේ කාලෙකදී මේ සැකැස්ම එක පාරට වෙනස් උනා මොකද මේ නසරානි සෙට් එක අතුරුදහන් වෙන්න ගත්ත නිසා
(හැබැයි 2.10 නම් මේ සෙට් එක ඉන්නේ ඉස්සරහම පෙට්ටියේ )

මාව සෙට් උනේ මේ අන්තිම පෙට්ටියට . හැබැයි මාව එතනට ගැලපුනේම නෑ වගේ දැනුනේ. එත් අඳුරන අය හිටිය නිසා ඔන්න ඔහේ ෆුට් බෝඩ් එකක් අල්ලන් ගියා . ඔය පෙට්ටියේ යන අයගේ වර්ගයේ කෙනෙක් නොවුනත් පස්සේ කාලෙක මම මේ අන්තිම පෙට්ටියේ නිත්‍ය සාමාජිකයෙක් උනා . අහපු කතා ,කියපු කතා , කරපු වැඩ සහ මුණගැහුන අමුතුම චරිත සැහෙන්න තිබුන මේ පෙට්ටියේදී . ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියනවා. කොහොමහරි එදා කෝච්චිය ඉස්කෝලේ ලඟටත් ආව මමත් ඉතින් හිතේ පොඩි අවුලකින් උනත්  ඉස්කෝලේ ලඟින් බැස්ස . බැහැල ඉස්කෝලෙට යන්න platform එකේ ආපස්සට එනකොට පුරුදු විදිහට කෝච්චිය දිහා බැලුන . එතකොට දැක්ක අර හිනාව .......ඔව් එයා තමයි ...නරකම දේ , අන්තිම පෙට්ටියේ .................කොහොම කොහොමහරි මේ වැඩේ මගේ දෛනික චර්යාවේ උදැසන කරන චාරිත්‍රයක් වගේ උනා . විශේහ්ස දෙයක් නෑ ඉතින් . එයා ඉන්න තැන හොයාගෙන ඒ ලංගම තියෙන ෆුට්බෝඩ් එකේ එල්ලිලා ඉස්කෝලේ යනවා. බැහැල යනකොට මෝඩයෙක් වගේ හිනාවෙලා යනවා. හැබැයි හරි සෝක් අප්පා.

ඔන්න ඔය විදිහට හිනා වේවි මාසයක් දෙකක් ගියා , කතා කරේ නෑ තාම . මගේ වටේ හිටපු අපාය සහාය මිත්‍රයෝ සෙට් එකට ඕක මීටර් උනා .. හැබැයි උන්ගෙන් අහන්න ලැබුන දේවල් නම් එච්චර හොඳ නෑ . කෙටියෙන් කිව්වොත් එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි , හැම තැනම කොල්ලෝ ...bla bla bla .................... අනේ පලයන් බන් යන්න එයා එහෙම නෑ . එහෙම උනත් මොකෝ හදල ගන්නවා ........  ( ඕකනේ පිස්සු කියන්නේ ඔය කාලෙට. අම්මප මට අතීතෙට යන්න පුලුවන්නම් ගහනවා කනැ පැලෙන්න මටම)

කොහොමහරි කවුද ඕව ගණන්ගන්නේ කියල මගේ වැඩේ මම දිගටම කරගෙන ගියා . තව දෙයක් මෙයාට ඉන්නවා අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි . තුන්දෙනා එකටමයි යන්නේ. තුන් දෙනාම වගේ ලස්සනයි .  යන්නෙත් අර නසරානි සෙට් එක්ක අන්තිම පෙට්ටියේ . බලනකොට කෝච්චියේ මේ තුන් දෙනා සැහෙන්න ජනප්‍රියයි . ඔය කාලේ තමයි අර D- TAP කියල සෙට් එකක් ලන්දු කියල සින්දුවක් ගැහුවේ. කොහොමින් කොහොමහරි මේ තුන් දෙනාට දැන් කියන්නේ ලන්දු කියල . හෑ ...............


ඔය කාලේදී ඉතින් මෙයා පස්සේ යන නිසාම එක එක විදිහේ අයව සෙට් උනා . කලින් මෙයාට සෙට් වෙන්න ට්‍රයි කරපු අය, ඒ වෙනකොටත් ට්‍රයි කරන අය, උන්ගේ වටේ හිටපු අය අක්කත් එක්ක සෙට් වෙලා හිටපු එකා , නංගිට ට්‍රයි කරපු ය. මෙකි නොකී සැහෙන්න පිරිසක් හම්බුනා .මාත් උන් එක්කම යන්න එන්න පටන්ගත්ත. සැහෙන යාලුවෝ ගොඩක් හැහදුනා එකෙන්. ඕක තමයි කෝච්චියේ ජිවිතේ හොඳම හරිය . දැන් අර උප සංස්කෘතියට වැටිලා.මට පිස්සු

උදේ වැඩේ හරි . එත් හවස ? මම කිව්වනේ බස් සීසන් එකක් තියෙනවා දැක්ක කියල . අන්න ඒ නිසා මම හිතුව හවස කෝච්චිය පරක්කු වෙන නිසා මෙයා හවසට බස් එකේ යනවා ඇති කියල. කොහොමත් 2.10 කියන්නේ කවදාවත් වෙලාවට යන කෝච්චියක් නෙවෙයි. යන්න තියෙන අනිත් කෝච්චි ඔක්කොම ටික යවල, ස්ටේෂන් මාස්ටර් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳල ,

 "මොකද්දෝ අමතක උනා , මොකද්ද අමතක උනේ , ෂාහ් මතක නෑ නේ .කලිසමත් ඇඳලා, සිප් එකත් දාල , එහෙනම් මොකද්ද අමතක උනේ ? ආ දවල්ට කෑවේ නෑනේ " කියල හිතල කාල "එත් මොකක්හරි මිස් උනා අප්පා. " කියල හිතනකොට ම නිකමට වගේ 5 වන වේදිකාව දිහා බැලුනොත් " අම්මට සිරි 2.10 යැව්වේ නෑනේ " කියල මතක් වෙලා යවන ටයිප් කෝච්චියක් තමයි මේ 2.10

ඕක නිසා මම තීරණය කරා හවසට බස් එකේ යන්න. නාවලපිටිය CTB එකක තමයි යන්න ඕනි . ඔය වෙලාවට බස් 3ක් විතර යනව ඒවත් පට්ට සෙනග . ඇයි ඉස්කෝලේ යන සීසන් ගත්ත උන් ඔක්කොම යන්නේ ඔය බස් තුනේ නේ. ඒ මදිවට ඉස්කෝලේ ළමයි පේනකොට ඩ්‍රය්වර් තව ටිකක් වේගේ වැඩි කරනවා අපේ ඉස්කෝලේ හරියේදී . ට්‍රැෆික් එකටවත් පොඩ්ඩක් වේගේ අඩු උනොත් කට්ට කාල පොර කාල එහෙම නගින්න ඕනි ඉතින්. කොහොම කොහොම හරි සතියක් තිස්සේ ඔය බස් තුනටම වගේ නැගල බැලුව. එක බස් එකකවත් නෑ . ඒ වැඩේ හරියන්නේ නෑ කෝච්චියේ සැපට යන මට බස් ගමන දැන් හරියන්නෙම නෑ . අයෙත් දෙකයි දහයේ යන්න හිතන් ආව දෙකයි දහයේ ඊළඟ සතියේ ඉඳන් . මෙන්න ඉන්නවා දෙකයි දහයේ. ආයේ මොකටද බස් වල යන්නේ .

ඔන්න ඔහොම කාලයත් එක්ක එයාගෙන නම ගම හොයාගත්ත. හුටා එයා catholic, පුදුම වෙන්න දේකුත් නැ ඉතින් අර ප්‍රසිද්ද කන්යරාමෙකට නේ ඉස්කෝලේ ගියේ. අනික ඕව කවුද ගණන් ගන්නේ පරම පවිත්‍ර පූජනීය ප්‍රේමයට ජාති කුල මල ආගම් බේධ අදාළ නෑ නේ.  ඒ මදිවට නමත් මහා විකාර නමක්. ඒ දවස් වල ජනප්‍රිය කාටුන් එකක හිටපු චරිතයක නමක් කිව්වනම් හරියටම හරි. නෑ ඒ කාටුන් චරිතේ ෆොටෝ එක දාන්න බෑ . මාව දන්නා කියන එකෙක් දැක්කොත් හත්පොලේ ගෑවෙන්න මාට්ටු වෙනවා. එච්චරට ඔය නම අපේ ඉස්කෝලෙත් ජනප්‍රිය උනා . කොහෙද අර කෝච්චියේ යන අපේ අපාය සහායක සෙට් එකට කටවල් තියන් ඉන්න පුළුවන් එකක් යැ.

කොහොම කොහොමහරි මගේ කොච්චි ජිවිතේ හොඳම කාලේ පටන්ගත්තේ මේ දවස් වල තමයි. මොකද වෙනද 1.30 ට ඉස්කෝලේ ඇරිලා 2.15 වගේ වෙනකන් ඉස්කෝලේ ළඟ බලන් හිටපු එකේ මම ඉස්කෝලේ ඇරුන ගමන් බස් එකක නැගල නුවර ස්ටේෂන් එකටම යන්න පටන්ගත්ත. වැඩි වෙලාවක් බල බල ඉන්න පුළුවන්නේ . අන්තිමට නුවර ස්ටේෂන් එකට ඇවිදන් යන දුර තියෙන එයාගේ ඉස්කෝලේ ඉඳන් එන්න කලින් මම නුවර . ඒ වැඩේ කෙසේ උනත් මට තේරුණා නුවරට යන එක හොඳයි කියල. තව කට්ටියත් සෙට් උනා . මොකක්හරි කයිවාරුවක් ගහල , මගේ අනිත් පරම පවිත්‍ර පූජනීය ප්‍රේමය වෙච්ච කෝච්චි දිහා එහෙම බලන් ඉඳල . නුවර ස්ටේෂන් එකේ වැඩ කරන අයගෙන් අහගෙන එක එක දේවල් ගැන දැනුවත් වෙලා ඔය කාලේදී ජීවිතේට ගොඩක් දේවල් එකතු උනා.අරයගෙ අක්ක එක්ක සෙට් වෙලා හිටිය "ටින් ටින් " කියල හඳුන්වපු අයියව සෙට් උනෙත් ඔය කාලෙම තමයි , අඳුරගත්ත, හැබැයි වැඩි කතාවක් නෑ . මේ කතාවේ අන්තිම හරියේදී මිනිහව ආයේ සෙට් වෙයි කතාවට.

දැන් ඉතින් අඩුම ගානේ එයත් එක්ක කතා කරන්නත් ඕනිනේ . මෙහෙම නිකන් ඉඳල හරි යන්නෙත් නෑ නේ . ඕකට කොච්චරනම් ට්‍රයි කරාද, ඇයි ඉතින් 10 වසරේ හිටියට මේ වෙනකන් කෙල්ලෙක් එක්ක කතා කරලවත් නෑ කියහන්කෝ. විලි ලැජ්ජාවේ බෑ  අප්පා .කොහොමහරි මාස තුනක් හතරක් නෑ ඊටත් වැඩිද මන්ද පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔන්න දවසක් උදේ ක්ලාස් එකට යන ගමන් ක්ලාස් එක ඉස්සරහදීම කතා කරා. අපරාදේ කියන්න බෑ ඉතින් සැහෙන්න හොඳට කතා කරා . හිනාව වගේම තමයි කටහඬත් මාරම ලස්සනයි. එදා දවසෙනම් ක්ලාස් එකේ ඉගැන්නුවද කියලවත් මට මතක නෑ . අර පාවී පාවී ඉන්නවා කියන්නේ. එහෙම තමයි එදා හිටියේ. ගෙදර ආපු විදිහවත් මතක නෑ .

කොහොමින් කොහොම හරි සෙනසුරාද හවස ක්ලාස් එක 12.30 ට ඉවරයි . මම සාමාන්යෙන් 1.30 / 2 වගේ වෙනකොට ගෙදර එනවා බස් එකේ. එත් දැන් මෙයා යන්නේ 2.10 කෝච්චියේ . මාත් ඉතින් පුරුදු උනා 12.30 ට ක්ලාස් ඉවර වෙලා 2 වගේ වෙනකන් කොහෙහරි ඇවිදලා කෝච්චියේ එන්න. ඔන්න ඔය කාලේ ඒ කියන්නේ 2008 දී සැහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා මේ වැඩේ නිසා . හේතුව තමයි ඕක යුද්දේ දරුනුවටම ගිය කාලයක්. හැම තැනම පොලිසියෙන් . ක්ලාස් එක ඉවර වෙලා එතන ඉස්සරහ බලන්  ඉඳල දවස් දෙකක් තුනක්ම පොලිසියෙන් සැහෙන ප්‍රශ්නයක් උනා. ඒ කාලේ අයිඩෙන්ටිය හදලත් නෑ . ඒ නිසා ලෝක ප්‍රශ්න. ඕන ඔහොම කට්ට කාගෙන තමයි ඉතින් හවස කෝච්චියට ආවේ. හැබැයි ඉතින් හැම දෙයකම නරක වගේම හොඳ පැත්තකුත් තියෙනවා කියනවනේ. මේ වෙනකොට මට එක දවසක් එයාට කතා කරලා තිබුනට මොකද තාමත් කතා කරන්න ටිකක් බයයි . ඔහොම දවසක දවසක් ක්ලාස් ඇරිලා 2.10 යේ ගිහින් කෝච්චියෙන් බැහැල යන්න හදනකොට මුළු කෝච්චියෙම අය කලබල වෙලා කෑගහන්න ගත්ත. බලද්දී බෑග් එකක් තියෙනවා අඳුරගත්තේ නැති. මම ඉතින් ගෙදර යන එක පැත්තක තියල බෑග් එක පිටින් දාල එයත් එක්ක ටිකක් කතා කර කර හිටිය. කරුමෙට බෑග් එකේ අයිතිකාරයා ආවනේ ඒ නිසා කෝච්චිය පිටත් උනා . මම ගෙදර ආව.

ඔන්න ඉතින් සුන්දර කොටස ඉවරයි. දැන් ඉතින් "දුක තමයි" කොටස. මේ ඔක්කොම උනේ මාස දෙකක් වගේ ඇතුලත . තාම කැමැත්තක් අහල වත් මුකුත් නෑ . ටික දවසක ඉඳන් මෙයා මාව ටිකක් මග අරිනවා වගේ දැන් නම්. දවසක් ............................... මතකයි මට අද වගේම තව එක දවසක්, මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්.... මාස දෙකක් නෙවෙයි අවුරුදු 8ක් වගේ ඇති එත් ඒක වැහි දවසක් .සින්දුව ආපු කාලෙමයි.



මම වැස්සේ තෙමිගෙන 2.10 ට ගියා එයාව බලන්න. එයා හිටපු පෙට්ටියට ගිහින් පොඩ්ඩක් කැරකි කැරකි හිටිය .......... හිතපු නැති දෙයක් උනේ , කලර් කිට් එකෙන් හිටපු ටිකක් උස මහත සෙට් එකක් මාව පැත්තකට එක්කන් ගියා " උඹ අර කෙල්ලට ට්‍රයි ද ? " ............මම - " ඇයි ඒ ගැන අහන්නේ ?" .....අරූ - " නෑ නිකන් , පරිස්සමින් හිටපන්" ..........ඔච්චරයි උනේ ඌ ගියා . එත් හිතට හරි නෑ . ඔව් එදා ඉඳන් තමයි මට හෙන ගහන්න පටන්ගත්තේ , කිසි දෙයක් හරියට උනේ නෑ . ඊට පස්සේ ගෙවුන සති කීපයේ අරය ක්ලාස් එන එකත් ටිකක් අඩු උනා .ඉස්සර වගේ වැඩිය මාත් එක්ක හිනා උනෙත් නෑ .දවසක් ක්ලාස් ඇරිලා යනකොට මට හම්බවෙලා කිව්වා "ඔයා හම්බවෙනවට අපේ ඉස්කෝලෙන් කෙස් ඒ නිසා මාත්  එක්ක වැඩිය කතා කරන්න එපා කියල" හෑ . මලල සේකරයි .

ඔය දවස් වල තමයි කෝච්චියේ එයාල හිටපු සෙට් එකට අලුතෙන් එකෙක් පාත් වෙන්නේ . ඉෂාර කියල චරිතයක් , ගම්පොල පැත්තේ . මුලදී එච්චර විශේෂයක් පෙනුනේ නැතත් පස්සේ පස්සේ මූ මොකක්හරි අමුතු වැඩකට තමයි එන්නේ කියල මට ලාවට තේරුනා . දවසක් මූ මගෙන් කෙලින්ම ඕක ඇහුව. උඹ ****   ට ට්‍රයි ද ? මට ඔව් කියන්නත් බෑ අම්බානක ගුටි කන්න වෙයිද දන්නේ නෑ මූ හෙන මැරයෙක් වගේ පෙනුම තියෙන එකෙක් . නෑ කියන්නත් බෑ . එත් මොකද්දෝ මගේම කරුමෙකට (දැන් නම් හිතෙනවා වාසනාවකට කියල ) මට නෑ කියවුනා . ආ එල එල බන් කියල මගේ පිටට තට්ටුවකුත් දාල මූ ගියා . හැබැයි ඉතින් මිනිහට මාත් එක්ක කිසි අවුලක් තිබුනෙත් නෑ . ශේප් එකේ කතා බහ කරලා හිටිය.  මහා කැත වැඩක් උනා දවසක්. උදේ මම කෝච්චියට  නැගල සුපුරුදු තැනට ගියා විතරයි අරයගෙ අක්ක එක පාරට මට කතා කරලා ඇහුව ,කෝ ඉෂාර ව දැක්කද කියල. මම දැක්කේ නෑ කිව්වා. එත් ටික වෙලාවකින් මු ඇවිල්ල මට කොලයක් දීල ගියා මේක අරයට දෙන්න කියල. දුන්න, මු ගියා . මමත් නිකන් ඉන්න බැලුවට ඇරලා බැලුව. මූ අරයට ලියුමක් දීල තියෙන්නේ. කැමතියිද කියල කෙලින්ම අහල තිබුන .

පොඩි විරාමයක් , තව සින්දුවක්


උඹ මම උනානම් උඹ මොනවා කරයිද, මම මොනවා කරන්න ඇද්ද. ඒ වෙලාවේ හිතට ආපු දේවල් විස්තර කරන්න මට වචන නෑ. මහා දුකක් වගේම ලොකු කලකිරීමකුත් ආව. මම ඒ විදිහට කරේ ඇයි කියන්න මම දන්නේ නැ. එත් මම  ඒ ලියුම මුකුත් නොකර තිබුන විදිහටම නමල එයට ගිහින් දුන්න මෙන්න මේක ඉෂාර දුන්න කියල . එක කියල වෙන වචනයක්වත් කතා නොකර මම ආව.ඇයි ඔයි මම එහෙම කරේ, මට පිස්සුද නැත්නම් වෙන මොකක්හරි අවුලක්ද ? සමහරවිට උඩ ඉන්නකෙනා  ඒ වෙලාවේ මට ඇවිත් කියන්න ඇති "උඹ ඕක ගිහින් දීපන්, ඕක දුන්නම උඹ මාරකෙකින් ගැලවෙනවා කියල" ඒක ඇහෙන්න ඇත්තේ මගේ යටි හිතට විතරයි.  ඔතනින් එහාට ඉතින් උනේ දවසක් ගානේ මම විඳවපු එක තමයි.

දවසකින් දෙකකින් උන් දෙන්න සෙට් වෙලා තිබුන. දෙන්න කෝච්චියේ , බස් වල එකටමයි ගියේ . සමහර දවස් වලට එයා මන් දිහා බලල හිනා උනා , වෙනද වගේමයි . එත් ....................................වැඩක් නෑ ඕව කතා කරලා. මගේ කෝච්චියේ ජිවන රටාවත් වෙනස් උනා . වෙනද නුවරට ගිය ගමන් එයා ඉන්න පෙට්ටියට ගිය මම දැන් කෝච්චිය අද්දනකන් 5 වෙනි වේදිකාවේ බංකුවකට වෙලා ඔහේ බලාගත්තඅත බලන් ඉන්නන පුරුදු උනා කියන්නේ ස්ටේෂන් එක කෙලවර තියෙන මහා  පාලු වෙච්ච වේදිකාවක් . 2.10 යන කෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ඔතනට එන්නේ නැ . එත් සමහර දවසට එක එක්කෙනා එනව ඇවිත් මගේ බංකුවේ අනිත් කෙලවරේ ඉඳගන්නවා. සමහරවිට ඉස්කෝලේ යන කෙනෙක්. නැත්නම් නුවර ස්ටේෂන් එකේ වැඩ කරන කෙනෙක්, සමහර දවසට 2 ට යන පොල්ගහවෙල කෝච්චියේ ඩ්‍රයිවර් . පාළුව නැති වෙන්න මම ඒ හැමෝම එක්ක කතා කරා . ජීවිතේට තවත් කට්ටිය එකතු උනා . ෂෙහාන් හෙවත් ගල් සාදු , හසිත හෙවත් නෙහාරා , විශ්ව හෙවත් නංගි, රමේෂ් මෙහෙම මුණගැහුන අය. සමහරවිට ඉස්සරහට කොච්චි කතා වලින් මේ අය මුණගැහෙයි. තව නුවර ස්ටේෂන් එකේ වැඩ කරන සුදු අයිය , 2.10 කෝච්චියේ ටිකට් විකුණන ටිකට් ඇන්ටි එහෙමත් ඔතනදි මුණ ගැහුන අය.

දවසක් ඉශාරය මට CD එකක් ගෙනත් දුන්න දුන්නේ කවුද කිව්වේ නැ. ඇතුලේ තිබුන සින්දු ටිකක්. ඒ අස්සේ Word document එකක් තිබුන . අනන් මනං ගොඩක් කියල අපි යාළුවො වගේ ඉමු කියල අන්තිමට ඉවර කරපු රතු පාටින් ලියපු ලියුමක් . දුන්නේ කවුද කියල තාම දන්නේ නැ .

දවසින් දවස ගියා , එයා ක්ලාස් එන්නෙත් නැති උනා , මම හොයන්න ගියෙත් නෑ . මන් හිතන්නේ ඒ කතාවත් ඉවරයි . ඊට ටික කාලෙකට කලින් ආසයි මන් පියාඹන්න චිත්‍රපටියට අමිල පෙරේරා කියපු මේ සින්දුව ඒ දවස් වල නිතරම මගේ ඔලුවේ play උනා . තවමත් මේක අහනකොට හේතුවක් නැතුවම වගේ හිතට අමුතුම හැඟීමක් එනවා. එදා දැනුන හැගීම වගේම එකක්.


මේ සින්දුවත් ඕකත් එක්ක හරි හරියට play උනා  




හ්ම්ම් ඔච්චරයි කතාව. හැබැයි මම කෙල්ලෙක් නිසා කොච්චිය නම් අතහැරියේ නෑ . තව කෙනෙක් ජීවිතේට එකතු උනා . හිතාන හිටියේ ඊළඟට එයා ගැන ලියන්න . එත් මට බෑ එයා ගැන ලියන්න මීට වඩා ගොඩක් විඳවන්න උනා . ගොඩක් ......කොටින්ම 80% ක් විඳවපු එක තමයි උනේ . එක ලිව්වොත් හිතට දුකක් එනවා මිසක් වෙන මුකුත් වෙන එකක් නෑ .ඒ නිසා ඒ කතාව ඕනි නෑ .

ටිකක් fast foward කරමු කතාව. මොකද කට්ටියට උනේ .

අවුරුද්දකට වගේ පස්සේ ටින් ටින්  අයියව හම්බවුනා , අර බංකුවේ දීම . අරයගෙ අක්ක මූව දාල ගිහින් කෝච්චියේ කවුරුවත් හිතුවේ නැ ඒ දෙන්න හිටපු විදිහට එහෙම වෙයි කියල. ටිකට් විකුණන ඇන්ටි පවා එදා ඇවිත් මුගේ හිත හැදෙන්න එක එක ඒවා කිව්වා. ඒ කෙල්ල වෙන  එකෙක්ව බැඳලා ත් එක්ක. මුට සැහෙන්න අවුල්. අයෙත් අවුරුද්දකින් හම්බවුනා , මිනිහ military police ගිහින්. මේ ලඟදි මම බයික් එකේ යද්දී ගෙලිඔය ටවුන් එකේදී හම්බවුන. මම ටක් ගාල බයික් එක නවත්තල ගිහින් කතා කරා . ගෙලිඔය පැත්තේ කෙල්ලෙක් සෙට් වෙලා දැන් බඳින්න ලු ඉන්නේ .

ඉශාරය , ඒ යකා O/L  ඔක්කොම ෆේල් වුනා කියල ආරංචි උනා .එච්චරයි .

වැදගත්ම කෙනා - වෙන එකෙක් එක්ක සෙට් වෙලා කියල ආරංචි උනා ටික කාලෙකින් , ඊට පස්සේ මේ ලඟක් වෙනකන් කිසි ආරංචියක් නෑ . එත් ලඟදි..........

කැම්පස් එකට යන්න කොළඹ බස් එකට නගින්න නුවරට යන්න සෙනසුරාද දවසක නැග්ග 236 ට . දැක්ක අඳුරන කෙනෙක් ඉන්නවා. ඔව් එයා . පලවෙනි දවසේ උනා වගේම හාට් බිට් වැඩි වෙලා, මොකද්දෝ එකක් උනා එත් මට දැන් එයාගෙන් වැඩක් නැ, ඊට වඩා දහස් ගුණයක් , නෑ ඊට වඩා ගොඩක් වැඩි කෙනෙක් දැන් මට ඉන්නවා. එත් , පැරණ ප්‍රෝග්‍රෑම් එක ජාන වල වැඩ මන් හිතන්නේ. එකයි පොඩ්ඩක් RPM එක වැඩි උනේ. ගණන් ගන්න බෑ . කෝච්චියෙන් බැහැල යනකොට නිකමට හිතුන කතා කරන්න, ගියා , කතා කරා .කටහඬ නම් එදා වගේමයි. වැඩක් නෑ කතා කරලා 

මම - මාව මතකද 

එයා - ඔව් ( ලස්සනට හිනා වෙලා ) , කොහෙද මේ යන්නේ , මොකද දැන් කරන්නේ.

මම - කොළඹ යන්න කියල, දැන් කැම්පස් . ඔයා?

එයා - මම නාවලපිටියේ ඉන්ටනැෂනල් ස්කුල් එකක ටීච් කරනවා.

මම - යන්නම් එහෙනම්

ඔච්චරයි , එත් පරණ දේවල් කොහොම අමතක කරන්නද. 

මේ ලඟදි අර profile  එක දැක්ක . දැන් නම් මුස්ලිම් එකෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ. එකෙත් හැටි ......................

ඔච්චරයි කතාව . ඔව් ඇති දෙයක් නෑ . එත් 10 වසරේ ඉන්න අවුරුදු 16 ක කොල්ලෙක්ට මේක ලොකු කතාවක්. අන්න ඒ කොල්ලගේ මට්ටමට ගිහිල්ල තමයි මම මේක ලිව්වේ. හිතේ තියෙන හැඟීම් අකුරු වලට ගන්න නම් හරි අමාරුයි. ඒ නිසා මේක අසාර්ථක පොස්ට් එකක් ද මන්ද. එත් කමක් නෑ දවස් දෙකක් තිස්සේ ටයිප් කරපු මහන්සියටවත් comment එකක් එහෙම දාගෙන යමු , කමක් නෑ බැනල හරි පලයල්ලා. 

එහෙනම් කතාව ඉවරයි ..... කෝච්චි කතා තව ඉස්සරහට එයි. මේ වගේ ඒවා ලියන්න එපා වගේ නම් එකත් කියල පලයල්ලා.  සුභ රාත්‍රියක්. 


ඔන්න පබ්ලිෂ් කරා 

3 comments:

  1. හප්පා 2.10.. මමත් ඕකට සෙට් උනේ 10 වසරේ තමයි. හැබැයි මම ආවේ වාර විභාග කාලෙට විතරයි. මොකද අපිට ඉස්කෝලේ ඇරුනේ 2.30 නේ. ශෝක් කෝච්චිය. දැන් නම් ඔක්කොම කණපිට. ඕක දැන් යන්නේ 4 ප්ලැට්ෆෝම් එකෙන්. ඉන්නෙත් මෙලෝ රහක් නැති හිපාටුවෝ ටිකක්.

    ReplyDelete
  2. ඔව් ඕකට කරපු නරකම වැඩේ තමයි 4ට දාපු එක. 5වෙනි platform එකෙන් යන කාලෙ ඕකෙතිබුන emotional value එක දැන් ඇත්තෙම නෑ. ඒ මදිවට අර කිව්වත් වගේ දැන් යන උන් ...මෙලෝ රහක් නෑ

    ReplyDelete