Friday, November 3, 2017

බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

බෝල රෝසා ගැන කියපු පලවෙනි බස් කතාවෙන් පස්සේ අද ලියන්න යන්නේ අපේ අල්ලපු රටේ එහෙමත් නැත්නම් මහා භාරතයේ ( සිංහලෙන් කිව්වොත් ඉන්දියාවේ ) නිෂ්පාදනයක් ගැන. ලංකාවේ පලවෙනි අධිවේගී මාර්ගය වන කොට්ටාව ගාල්ල අධිවේගී මාර්ගය විවෘත වෙනවත් එක්ක අධිවේගී මාර්ගයේ බස් ධාවනයත් පටන්ගත්ත. අද කියන්න  යන බස් එක ලංකාවේ ජනප්‍රිය උනේ මේ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවය එහෙමත් නැත්නම් හයිවේ බස් එක්ක තමයි.

බස් එක තමයි Ashok Leyland Viking A/C එහෙමත් නැත්නම් Luxury මාදිලිය ..


දැකල ඇතිනේ මෙයාවනම් ඕනි තරම් .. අන්න එයා ගැන තමයි අද කියන්න යන්නේ.

මාදිලි වලින්ම පටන්ගත්තොත් බෝල රෝසා වගේ මේ බස් එකේනම් මාදිලි සැහෙන ගානක් අවේ නැ . එත් ආසන ගණන අනුව බැලුවොත් අදිවේගී මාර්ගයේ ධාවනය කරන ගොඩක් මේ වර්ගයේ බස් වල ආසන 49ක් වගේ ගානක් තමයි තියෙන්නේ (වගේ ගානක් කිව්වේ ඇයි කියලත් ඉස්සරහට කියන්නම්) එත් ඊට අඩු ආසන ගණනක් තියෙන මාදිලිත් තියෙනවා.  තව ප්‍රධාන එන්ජිමේ පිහිටීම ගැන ගත්තොත් එකෙත් වර්ග දෙකක් තියෙනවා. ඉදිරිපස එන්ජිම සහ පසුපස එන්ජිම විදිහට . කොහොමත් ඉන්ජිම ඉස්සරහින් එන මාදිලිය තමා ලංකාවේ 99.9% ක් ම දකින්න ලැබෙන්නේ . එන්ජිම පිටිපස්සේ තියෙන බස් මමනම් ඇත්තටම දැකල තියෙන්නේ එකයි .

ඔය උඩින් දාල තියෙන පින්තුරේ ඉස්සරහ එන්ජිම තියෙන මාදිලියේ එකක්. එතකොට මෙන්න මේක පිටිපස්සේ එන්ජිම තියෙන එකක්. (මම ගියෙත් මේ පාටම එකක , මෙකෙමද මන්ද )



ඊළඟට සැප පහසුව

A/C එක ගැන කියලම පටන්ගන්නවනම් ඉතින් කියන්න තියෙන්නේ A/C තියෙනවා ගල් වෙන්නම. ඉන්දියාවේ  තියෙන අධික උෂ්ණත්වයට උනත් හරියන්න නේ හදනවා ඇත්තේ . හැබැයි ඉතින් මේ A/C එක ජපන් බස් වල වගේ මුළු බස් එකටම එක විදිහට දැනෙන්නේ නම් නැහැ . ඒ කියන්නේ පිටිපස්සේ යන කෙනෙක්ට ඇන්ටාක්ටිකාවට ගියා වගේ හැගිමකුයි ඉස්සරහ ඉන්න කෙනෙක්ට සහරා කාන්තාරේ ඉන්නවා වගේ හැගිමකුයි එකම වෙලාවේ දැනෙන්න පුළුවන්.කෙටියෙන්ම කිව්වොත් ඉස්සරහ කොටසට A/C මදි එත් පිටිපස්සට ඔනිවටත් වැඩියි. ඒ නිසා තමන්ට ගැලපෙන තැනක ඉඳගෙන යන්න.

අනික මේ බස් වල ඔය climate control A/C එහෙම නෑ . කිසිම control එකක් නැතුව සුළි සුලන් වගේ එන A/C එකක් තමයි තියෙන්නේ . හැබැයි උෂ්ණත්වය පාලනය කරන knob එක ටිකක් මැද හරියට වෙන්න කැරකුවාම කූල් එක වැඩි වෙනකොට A/C Compressor off වෙලා Blower විතරක් වැඩ කරනවා , ආයේ රත් වෙනකොට ඔන් වෙනවා. පරණම විදිහේ සිස්ටම් එකක් 

A/C කවුළු ගැන කියනවනම් ගොඩක්ම බාල තත්වයේ තියෙනවා කියල කියන්න පුළුවන් . මොකද අපිට උවමනා පැත්තට හරවගත්තට මේක එක දිගට ඒ පැත්තට හැරිලා තියෙන්නේ නෑ . ඒ වගේම තමයි මේ කවුළු වල පැවැත්මත් ගොඩක්ම දුර්වල තත්වයක තියෙන්නේ. මිට අවුරුද්දකට දෙකකට කලින් ගෙනාපු බස් එකක උනත් දැන් තියෙන තත්වය බැලුවොත් A/C කවුළු කැඩිලා ඒ නිසා ඒවාට කොළ ගුලි ඔබල තියෙනවා ගොඩක් බස් වල බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි දැන් තත්වය


අනිත් දේ මෙතන මේ පෙන්න තියෙනවා වගේම එක එක ආසනයට වෙනම on off කරගන්න පුළුවන් විදිහේ reading lamps තිබුනට  දැන් නම් ගොඩක් ඒවා වැඩ කරන්නේ නැ .

හැබැයි දැන් දැන් සමහර බස් වල ලේලන්ඩ් mitr, Lynx වගේ මාදිලි වලට එන A/C කවුළු දාල අලුත්වැඩියා කරලා තියෙනවා, සමහරු ජපන් බස් වලට එන A/C කවුළු එහෙමත් දාල තියෙනවා. ඒ අතරින් මම දැකපු මේ A/C කවුළු සෙට් එකනම් හොඳටම හොඳයි කියන්න පුළුවන්,


තව අලුතෙන් එන එන්ජිම පිටිපස්සේ තියෙන මාදිලියේ වෙනස්ම ආකාරයක A/C කවුළු සෙට් එකක් එනවා. පොඩි තද ගතියක් ඇරෙන්න ඒවගෙත් ලොකු වැරද්දක් නම් පෙන්න නැ . ෆොටෝ එකක්නම් හොයාගන්න නැ .

ඊළඟට සිට් ගැන කියනවනම් ඉතාමත්ම හොඳ තත්වයේ සිට් සෙට් එකක් තියෙනවා මේ බස් වල. ජපන් බස් කොච්චර ලස්සන උනත් හොඳ උනත් ඒවගේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි සිට් පොඩි වීම . හැබැයි මේ බස් එකේනම් එහෙම නැ . දෙන්නෙක් ඉන්දගත්තම අනිත් කෙනාගේ උරහිසේ තමන්ගේ උරහිස වැදෙන්නේ නැතුව බොහොම පහසුවෙන් යන්න පුළුවන්. අනික මේ බස් වල සිට් adjustable එහෙම කියල පොඩ්ඩක් පාතට කරපු ගමන් පිටිපස්සේ සිට් එකේ ඉන්න කෙනාගේ දණහිසේ වදින්නේත් නැ . සිට් අතර හොඳ පරතරයකුත් තියෙනවා. තව සිට් එකේ දෙපැත්තට සහ මැදින් arm rest තියෙනවා , මේවා අකුලන්නත් පුළුවන් 


ඔය arm rest එකට යටින් තියෙන පොඩි ලිවර් එකෙන් තමයි සිට් එක adjust කරන්නේ 


මේ උඩ ෆොටෝ එකේ පේනවා වගේ කකුල් දෙක තියාගන්න foot rest එකකුත් එනවා. වැඩි ලස්සනක් නැති උනාට අවශ්‍ය වැඩේ වෙනවා ගානට. 

ඊළඟට වැදගත්ම දේ suspension. මේකේ ඉස්සරහට පස්සට දෙකටම එන්නේ Air suspension ඒ නිසා ඒ අතිනුත් සැප පහසුව නම් හොඳ මට්ටමක තියෙනවා කියන්න පුළුවන්.

දැන් බලමු මේ ජාතියේ බස් එකක යන්න ලැබුනොත් කරන්න ඕනි දේවල්

ඉඳගන්න තැන. - කලිනුත් කිව්වා වගේ මේකේ A/C එකනම් බැලන්ස් නැ . ඒ නිසා මම වගේ සීතලට ගොඩක් කැමති අය පිටිපස්සට යන්න. සිතල පෙන්නන්න බැරිනම් ඉස්සරහම පේලියේ වගේ ඉඳගන්න.


photo එකේ පෙන්න තියෙනවා නේද වහලේ මැදින් තියෙන  A/C යුනිට් එකේ හුලන් ඇතුලට අදාල ගන්න තැන. අන්න එතනින් පිටිපස්සට වෙන්න තියෙන සිට් එකක ඉඳගන්නවනම් සිතල ටිකක් වැඩියි .

අනිත් වැදගත්ම දේ , කරන්නම දෙයක් නැත්නම් මිසක් අන්තිම සිට් එකේනම් යන්න එපා. හේතුව අපේ කට්ටිය කරන වැඩක් . මේ බස් එකේ අන්තිම පේලියට එන්නේ `සිට් 5යි එත් අපේ බස් අයියල ඒවා ලඟින් ලඟින් හයි කරලා සිට් 5 , 6 ක් කරනවා arm rest එහෙම ගලවනවා මේ වැඩේට . එහෙම සිට් එකක ගියාම දෙපැත්තෙන්ම තැලිලා පොඩිවෙලා යන්න තමයි වෙන්නේ. හම්මෝ දවසක් සුපිරි කට්ටක් සෙට් උන අන්තිම සිට් එකේ ගිහින් මහරගම ඉඳන් මාතරට යනකන්. තව ඔය අන්තිම සිට් එකේ දෙපැත්තේ තියෙන සිට් දෙක හරියට recline කරන්න එහෙමත් බෑ.

bag අරන් යන අයට කියන්න තියෙන්නේ මේ බස් එකේනම් ඇති තරම් luggage space තියෙනවා . බස් එකේ එළියෙන් තියෙන මේ ඉඩේ ඕනි ලොකු bag එකක්, තව ලොකු පාර්සල් එහෙම අරන් යන්න පුළුවන් .


 තව පොඩි bag තියෙනවනම් ඇතුලේ සීට් වලට උඩින් තියෙන රැක් එකේ දාගන්න. ටිකක් විතර ලොකු bag එකක් උනත් මේකේ ලේසියෙන් දාගන්න පුළුවන්. හැබැයි සමහර හයිවේ බස් වල මේ රැක් එකේ බඩුගෙනියන්න දෙන්නේ නැහැ මොකද මේ රැක් එක ඇතුලෙත්  A/C කවුළු තියෙනවා , ඒවා වැහෙන නිසා . ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් යන්න .

මොනවද මේ බස් එකේ තියෙන අවුල්

අවුල් නම් සැහෙන්න තියෙනවා. පලවෙනි එක තමයි පැවැත්ම ඉතාමත් නරක වීම . උඩින් කිව්වා වගේ A/C කවුළු තමයි ප්‍රධානම ලෙඩේ. තව වහලේ තියෙන A/C එකෙන් වතුර වැටෙන එකත් ලෙඩක්. තව වැස්ස වෙලාවට මේකේ ජනෙල් අයිනෙ බීඩින් වලින් ඇතුලට වතුර ලීක් වෙනවා .

 

පැහැදිලිව පේනවද මන්ද . මේ ටිකක් හොඳ අවස්තාවක්. මීට වඩා ලීක් වෙන වෙලාවලුත් තියෙනවා.

ජපන් බස් වලට සාපේක්ෂව ඉතාමත් ඉක්මනින් බස් එකේ බොඩි එක සවුත්තු වෙලා , interior සවුත්තු වෙලා අවුරුදු දෙක තුනකින් බස් එකට හොඳටම පරණ පෙනුමක් එනවා. සීට් උනත් ඉරිතලල කැත වෙනවා මේ බස් වල.

තව ඩ්‍රයිවර් , සහ කොන්දොස්තර ඉන්න කොටසට A/C වදින්නෙම නැහැ . බස් එකේ මීටර් පැනල එක , එන්ජිමේ සද්දේ උනත් සාමාන්‍ය ලේලන්ඩ් බස් එකකට වැඩිය කිසි වෙනසක් නැ .

මේ දේවල් නිසා මේක මෙලෝ රහක් නැති බස් එකක් කිව්වත් වරදක් නැ ඉතින් .

මේ වගේ හේතු නිසා හයිවේ එකේ බස් දුවන ගොඩක් අය අලුතෙන් බස් ගනිද්දී youtong, sunlong, higer , golden dragon වගේ chinese බස් ගන්න පෙළඹෙනවා . ඒ බස් ගැනත් දවසක ලියන්නම්

අන්තිමට කියන්න ඕනි බස් එකක පැවැත්ම බස් එකේ නිෂ්පාදකයා , අයිතිකරුවා අතම නෙවෙයි බස් වල යන මගියෝ වන අපේ අතෙත් තියෙනවා. ඒ නිසා බස් විනාස කරන්න එපා. තව කෙනෙක්ට යන්න පුළුවන් වෙන්න මේ බස් පරිස්සම් කරගන්න.  ගොඩක්ම හයිවේ එකේ යන බස් වල   A/C කවුළු කැඩෙන්න හේතුව මගියෝ මේවා පාවිච්චි කරන විදිහ , ඒ වගේම ලඟදි දවසක මම දැක්ක වීඩියෝ එකක් මේ ජාතියේම බස් එකක යන මගී බූරුවෙක් curtain එකෙන් හොටු පිහදානව . ඒ වගේ වැඩ වලින් වැළකිලා ඉන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා .  එහෙනම් සුභ ගමන්


Saturday, September 30, 2017

බස් කතා 01 - බෝල රෝසා

ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට එන ප්‍රශ්න, අත්දැකීම් , එතකොට බස් කර්මාන්තයේ කතන්දර වගේ දේවල් . ඒ පිටුවල ඉන්න ගොඩක් අය බස් අයිතිකරුවන්, බස් වල සේවය කරන අය නිසා ඇත්තටම ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ . ඒත් බස් වලට කැමති , බස් වල නිතර යන මම වගේ මගීන් ගේ පැත්තෙන් බස් ගැන ලිව්වොත් ...... ඒක වෙනස් දෙයක් වෙයි. ඒ නිසා මම පටන්ගන්නවා ලියන්න බස් ගැන. මට බස් ගැන තාක්ෂණික දැනුමක් නම් ලොකුවට නෑ , ඒ නිසා ඒ ගැන ලියන්නේ නෑ. වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මේ ගමන්ම කියනවා..

මුලින්ම මගේ මතය කියලම පටන්ගන්නම්. ඔය ඉන්දියාවෙන් ගෙන්නන LEYLAND, TATA එතකොට ලඟදි ඉඳන් එන EICHER එහෙම (සාමාන්‍ය සේවා වලට යොදවන වායු සමීකරණය නැති බස් ) මගේ මතය අනුවනම් බස් නෙවෙයි . ඒවා ජනෙල් , සිට් හයි කරපු ලොරි. මිනිස්සු ප්‍රවාහනය කරන්න මේවා ගැලපෙන්නේ නෑ කියල තමයි මමනම් විශ්වාස කරන්නේ. එත් ඉතින් ලංකාවේ ආර්ථිකයත් එක්ක අපිට වෙන විකල්පයක් තියෙනවද කියලත් ගැටළුවක් තියෙනවා. කොහොම උනත් මේ කියපු බස් ගැන මගේ කැමැත්තක් නැති නිසා ඒ ගැනනම් මම ලියන්නේ නෑ ..

මුලින්ම ලියන්නම් ලංකාවේ A/C රූට් වල වැඩියෙන්ම ජනප්‍රිය උන බස් එකක් ගැන. මම නිතර කොළඹ නුවර යැවෙන කෙනෙක්. යන්නේ A/C බස් වල විතරයිම කිව්වොත් බොහෝ දුරට නිවැරදියි. අන්න ඒ නිසා මටත් නිතර මුණගැහෙන බස් එකක්..

බස් එක තමයි.......... Mitsubishi Fuso , Rosa එහෙමත් නැතුව ලංකාවේ බාසාවෙන් කියනවනම් බෝල රෝසා .

මෙන්න මේක තමයි බස් එක


දැකපු ගමන් දන්නවනේ බස් එක.

මේ බස් එක ගැන කියනවනම් මේකේ ආසන 29 සහ 33 කියන මාදිලි දෙක තමයි ලන්කාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මාදිලි ගැන කියනවනම් ප්‍රධාන වශයෙන් මාදිලි 3යි

1. ලංකාවේ බලයලත් නියෝජිතයන් වන United Motors ගෙන්වන මාදිලිය
   
   මේක තමයි රූට් දුවන බස් වල වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. මිල ගණන් අඩු නිසා සහ නඩත්තු වියදම් අඩු එන්ජිමක් එක්ක එන නිසා මේ මාදිලිය ගොඩක් ප්‍රසිද්දයි කියල තමයි මටනම් හිතෙන්නේ .

හැබැයි ඉතින් සැප පහසුව, උපාංග අතින් නම් මාදිලි 3න් අවම අගය තියෙන්නේ මේකට තමයි. අනිත් මාදිලි වල තියෙන Air suspension සහ වඩාත් සුවපහසු suspension පද්ධති මෙම මාදිලියේ දකින්න ලැබෙන්නේ නෑ . ඒ නිසා ගැස්සෙන පැද්දෙන ගතියනම් ටිකක් වැඩියි.

ආසන ගැන කියනවනම් අනිත් මාදිලි වල වගේම හොඳ  ආසන මෙම මාදිලියටත් එනවා. මෙම මාදිලියේත් සමහර බස් මම දැකල තියෙනවා සකස් කල නොහැකි ආසන එන (සිංහලෙන්ම කිව්වොත් adjustable නැති )

මෙහි A/C පද්දතියත් එන්නේ manual ආකාරයේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ


බස් එක පිටත පෙනුම ගැන කියනවනම් ඔය උඩින්ම දාල තියෙන්නේ මේ මාදිලියේ බස් එකක්.

නිෂ්පාදිත රට ගැන මත දෙකක් තියෙනවා. සමහරු මේක මැලේසියා වේ නිෂ්පාදනයක් කියල කියනවා. එත් නියෝජිතයන්ට අනුවනම් මේක හදන්නෙත් ජපානේ

2. Australian Model

මේ මාදිලිය ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්, ගෙන්වන රටේ වෙනසට අමතරව මට පේන විදිහටනම් මේකයි ඊළඟට කියන්න යන ජපානයෙන් ගෙන්වන මාදිලියයි අතර ලොකු වෙනසක් නෑ


බස් එකේ බඳ ප්‍රදේශයේ EMERGENCY EXIT යන වචන සමග ඊට යටින් කොක්කක් හෝ දෙකක් තිබීමත් බස් එකේ පිටුපස තනි දොරක් සමග tow hook එකක් තිබීමත් තමයි මටනම් පෙනෙන වෙනස්කම් . උඩින් කියපු මැලේසියන් එකට වඩානම් මුනෙත් පොඩි වෙනසක් තියෙනවා. දොරත් වෙනස් . හැබැයි ජපන් එකෙත් මේ මුණ සහ දොර මේ ආකාරයටම එනවා දැකගන්න පුළුවන්.

මගියෝ වන අපිට වැදගත් වෙනස තමයි මේකේ සැප පහසුව හොඳයි මැලේසියන් එකට වඩා . මාත් මේ බස් එකක ගියේ එක දවසයි , ඒ නිසා වැඩි යමක් කියන්න නම් දන්නේ නෑ .

3. ජපානයෙන් ආනයනය කරන මාදිලිය.

ලංකාවේ දෙවනියට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ මේක , සපපහසුව ඉතාමත් හොඳයි මේ බස් එකෙත් ආසන 29, 33 මාදිලි දෙකක් එනවා, ඊට අමතරව විවිධ වෙනස් කම් සහිත මාදිලි විශාල ගණනක් දැකගන්න පුළුවන්. ඒ හැම එකකම අපිට වැදගත් දේ වෙන සැප පහසුව නම් එක වගේම හොඳ මට්ටමක තියෙනවා. ආසන 25 එකකුත් එනවා හැබැයි සාපේක්ෂව ටිකක් අඩුයි


පේනවනේ එකකින් එකකට වෙනස් හැබැයි මේ ඔක්කොම ජපන් රෝසා බස් ම තමයි. අකුලන දොර , එලියට ඇරෙන වර්ගයේ දොර, පිටුපස තනි දොර, දොර දෙක එහෙමත් නැත්නම් පිටුපස දොරක් නැති ( ඩිකිය සහිත)
වගේ එක එක මාදිලි වලින් මේවා දැකගන්න පුළුවන්.

මැලේසියන් බස් එක වගේ නෙවෙයි digital climate control A/C එකකුත් මෙම බස් වල දැකගන්න පුළුවන්. ඒ නිසා A/C එක වඩාත් හොඳින් පාලනය වෙන සැප පහසු ගතිය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.


පොදුවේ මේ බස් මාදිලි හැම එකකම මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන්,

ආසන-  ඉතාමත් හොඳ කියල හඳුන්වන්න බැරි උනත් හොඳ තත්වයේ උස සහ පළල තියෙන අසන සැකැස්මක් මෙම බස් වල දැක ගන්න පුළුවන්. ආසන අතර පරතරයත් හොඳ මට්ටමක තියෙන නිසා ඉදිරියෙන් ඇති ආසනයේ දණහිස වදින්නේ නැතිව පහසුවෙන් යන්නත් පුළුවන්.



A/C-ඉතාමත් හොඳ තත්වයේ වායු සමීකරණ පද්දතියකින් යුක්තයි. බස් රථයේ වීදුරුව අසල, මැද , ඉදිරිපස, පිටුවස යන ඕනිම කෙනෙක්ට හොඳින් සිසිලස දැනෙන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා.

එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ.

වැදගත්ම කොටස. මගියෙක් විදිහට උපරිම සැප පහසුවක් ඇතිව මෙම බස් එකක යනවනම් අපි යන්න ඕනි කොහොමද


  • ඔබ යන්නේ තනියෙන් නම් හැම වෙලාවේම වම පැත්තේ තනි සීට් එකක යන්න. යාබද අසුනේ ඉන්න කෙනා ඇගේ ගෑවෙන ඉඩ අඩුයි.  සහ ඉඳගන්න වගේම බහින එක සාපේක්ෂව ලේසියි. 
  • පිටුපස රෝදය උඩ  ආසන දෙකක් තියෙනවා, ඒ දෙක මගහරින්න.
  • bag අරන් යනවනම් , සාමාන්‍ය මට්ටමේ backpack එකක් ඉතාම පහසුවෙන් සීට් එක යට තියාගන්න පුළුවන් . ලැප්ටොප් bag එකකුත් තියෙනවනම් සීට් දෙක අතර තියෙන මෙන්න මේ විදිහට පහසුවෙන් අරන් යන්න පුළුවන්.

  • A/C කවුළු - ඔබට උඩින් තියෙන කවුළු දෙකෙන් ඉදිරියෙන් තියෙන කවුළුව තමන් ඉන්න පැත්තට හරවාගෙන අනිත් එක ඔබේ යාබද අසුනේ මගියාට ඉතුරු කරන්න ( වීදුරුව අයිනේ සීට් එකේ යනවනම්) මේ විදිහට පාවිච්චි කිරීමෙන් එක එල්ලේ ඔලුවට A/C වදින එක වළක්වාගන්න පුළුවන් .
    අනික අන්තිම සීට් එකට කලින් තියෙන සීට් එකේ යනවනම් මතක තියාගන්න එතන තියෙන කවුළු දෙකෙන් ඉදිරිපස කවුළුවෙන් විතරයි හරියට A/C එක එන්නේ . දෙවැනි එක හරියට වැඩ කරන්නේ නැ. රෝසා හැම මාදිලියකටම මේක පොදුයි. 
හොඳම සීට් එක -------

අන්තිම සීට් එකට කලින් පේලියේ වම පැත්තේ තනි සීට් එක. උඩ කියපු A/C ප්‍රශ්නයනම් තියෙනවා තමයි. එත් හරි කවුළුව හරවගත්තම ඒ ගැටලුව නෑ , මෙතන හොඳ වෙන්න හේතුව තමයි A/C කවුළුව අනිත් සීට් වල කවුළු වලට වඩා ටිකක් ඉදිරියෙන් පිහිටලා තියෙන එක. ඒ නිසා එක එල්ලේ ඔලුවටම A/C වදින්නේ නැ.

ඊට අමතරව වම පැත්තේ අයිනේ දෙර ලඟම සීට් එකයි රෝදේ උඩ සීට් එකයි ඇරෙන්න අනිත් සීට් ටිකත් හොඳයි .

අන්තිමට කියන්න ඕනි කොළඹ නුවර වගේ වාහන වැඩි, වංගු සහිත, කඳු තියෙන පාරවල් වලට හොඳට ගැලපෙනවා කියල දැනෙන බස් එකක්. ඒ නිසා ඔබ බස් පෝලිමේ ඉන්නවනම්. වෙනත් බස් එකක් නම් ඇවිත් තියෙන්නේ ( ජර්නි K වගේ ලොකු එකක් නම්) පොඩ්ඩක් ඉඳල බෝල රෝසා එකක ආවට පාඩුවක් නැ  . මොකද අනිවාර්යෙන් ටික දුරක් යනකොට බෝල රෝසා එක ලොකු බස් එක ඉස්සර කරලා යනවා. 

තව බස් එකක් එක්ක, තව දවසක එන්නම්...............




Sunday, September 3, 2017

අපි නොදන්න Setbeat



කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා එක එක වැඩ නිසා . අද නිවාඩුවකුත් ලැබුන නිසා හිතුව ලියන්න.
අද ලියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි  තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Android කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ ගැනත් ඉස්සරහට කියන්නම්.
මොකද්ද මේකේ විශේෂත්වය,

කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න විතරක් අපි ළඟ තිබුන ජංගම දුරකථනය පාවිච්චි කරලා  සින්දු අහන්නත් පටන් ගත්තේ smart phone එන්නත් ගොඩක් කලින් ඉඳල. Sony Walkman series ෆෝන් එහෙම කට්ටියට මතක ඇතිනේ... එදා ඉඳල භාවිතා වෙච්ච ක්‍රමය උනේ පරිඝනකයක් හෝ වෙනත් ජංගම දුරකතනයක් මාර්ගයෙන් තමන්ගේ ජංගම දුරකතනයේ local storage (internal memory හෝ SD card) එකට ගීත ඇතුලත් කරලා, එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මෙම ගීත අහන එක.
එත් කාලයත් එක්ක අන්තර්ජාල සම්භන්ධතා වල වේගය හා දත්ත ප්‍රමාණය වැඩි වීමත් එක්ක ලංකාවේ අපි අතරත් YouTube වැනි video streaming සේවාවන් ජනප්‍රිය වෙන්න ගත්ත. සින්දු අහන කෙනෙක්ටනම් දැන්  YouTube අමතක කරන්නම බෑ නේ. video streaming වලට අමතරව සින්දු අහන අය වෙනුවෙන්ම හදපු දෙයක් තමයි Audio music streaming සේවාවන් . Spotify, Apple music, Sound Cloud, Deezer, Pandora කියන්නේ මේ වගේ ජනප්‍රිය වෙච්ච සේවාවන් කිහිපයක්. සින්දු හොයා හොයා කරදර වෙන්න ඕනි නෑ, සින්දුවක ගුණාත්මක භාවය ගැන කරදර වෙන්න ඕනි නෑ . හොඳම ගුණාත්මක බවක් තියෙන සින්දු මිලියන ගානක එකතුවක් මේ සේවාවන් වල තියෙනවා .

එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මේ එක සේවාවක් වත් නිකන් දෙන ඒවානම් නෙවෙයි. නිකන් දුන්නත් යම් සිමාවන් වලට යටත් වෙලා තමයි දෙන්නේ. උදාහරණයක් විදිහට  Spotify වල නොමිලේ දෙන සේවාවේදී යම් ගායකයෙක්ගේ කැමති සින්දුවක් තෝරලා අහන්න බෑ . එම ගායකයාගේ සින්දු random විදිහට අහන්න විතරයි පුළුවන්. මේ සේවාවන් වලට අය කරන ගානත් ලේසි පහසු නැහැ. විශේෂයෙන් අපි වගේ රටක ඉන්න අයට. තව එකක් , දැනට ලෝකේ ජනප්‍රියම මේ වර්ගයේ සේවාව වන Spotify ලංකාවට සේවා සපයන්නෙත් නෑ.

ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තරයක් තමයි Setbeat කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් , Spotify හි තියෙන හැම පහසුකමක්ම වගේ මේකෙත් තියෙනවා . හරියටම ඇත්ත නැත්ත දන්නේ නැති උනාට ආරංචි විදිහටනම් මේක Spotify හැක් කරලා හදපු app එකක්. ඒ නිසා Spotify වගේම හොඳ සින්දු එකතුවක් තියෙනවා , පරණ ඒවා උනත් හොයාගන්න පුළුවන් උනා මටනම්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි playlist හදල තමන්ට අහන්න ඕනි සින්දු එම playlist වලට add කරගන්න පුළුවන් එක. මේ playlist synchronize කරගත්තම අන්තර්ජාලය නැති වෙලාවක උනත් අපිට නැවත අහන්න පුළුවන් විදිහට අපේ ජංගම දුරකතනයට save වෙනවා .



කොහොමද දැන් මේක install කරගන්නේ , මේ පහල තියෙන ක්‍රමයට මෙම app එකේ apk file එක ජංගම දුරකතනයට බාගත කරගත්තම ලේසියෙන්ම install කරගන්න පුළුවන් .

1. Settings වලට යන්න
2. Security
වලට යන්න
3. Unknown Sources
කියන ඔප්ෂන් එක හොයාගන්න
4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න
5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න

6. ෆෝන් එකේ downloads වලින් Setbeat apk එක හොයාගෙන ,
7. Install කරගන්න

 වැඩි පහසුවට YouTube එකෙන් මම හොයාගත්ත මේක install කරන විදිහ දැක්වෙන වීඩියෝ එකකුත් පහත තියෙනවා.

https://www.youtube.com/watch?v=SbnkNSMlHaI

මේ Android වලට. ios වලටත් මේක තියෙනවා. මේ පහත ලින්ක් එකෙන් ගිහින් install කරගන්න පුළුවන් හැබැයි මම ios පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ.

http://setbeat.net/setbeat-ios-iphone-app-download/

ඔක්කොමත් හරි , පරණ විදිහට සින්දුවක් download කරන අහන්න පුළුවන් එකේ අහවල් එකකටද මෙච්චර දඟලන්නේ කියල හිතෙන්න පුළුවන්. උත්තරේ තමයි ටික දවසක් පාවිච්චි කරලා බලන්න , එතකොට වෙනස තේරෙයි.


අවාසියකට තියෙන්නේ ඉතින් එක සිංදුවකට 10 MB වගේ data ප්‍රමාණයක් යනවා, තව සිංහල , හින්දි සින්දු නම් මුකුත්ම නෑ .......... අපි ගියා එහෙනම්