Thursday, January 14, 2016

නිවන් සැප ලැබේවා !

මේ කියන්න යන කතාව උනේ කිඹුලා උසස් පෙළ කරන කාලේ. කරන කාලේ කිව්වට ඉතින් කරන්න ඔන්න මෙන්න තියල ක්ලාස් එකේ අන්තිම දවසේ. සිද්දියට සම්භන්ධ එකා තමයි අක්මාල් . අක්මාල් ව අපිට සෙට් උනේ මිනිහ උසස්පෙළ කරන්න කියල හිතාගෙන සාමාන්‍ය පෙලින් පස්සේ අපේ ඉස්කෝලෙට ඇවිල්ල අපෙ පන්තියටම සෙට් උනාට පස්සේ තමයි. 

මිනිහට ඔය අක්මාල් කියන නම දැම්මේ එතකොට අපේ පන්තියට ඉස්කෝලේ ගිණුම්කරණය උගන්නපු වසන්ත සර් . හේතුව තමයි සර් ට මිනිහව පේන්නෙම අර කම්රාන් අක්මාල් කියන ක්‍රිකට් ක්‍රීඩකයා වගේ වීම . කොහොමහරි මනුස්සයාගේ ඇත්ත නමත් මිට ඉතාමත් සමාන නමක් උන නිසා ඔය නම මුට රෙජිස්ටර් උනා නිකන්ම.

වර්තමාන තත්වය ගැන කියනවනම් මනුස්සය දැනට කිඹුලත් එක්කම එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා. ඉන්නෙත් එකම බෝඩිමේ . මුගේ කැම්පස් කාඩ් එකනම් කියන්න බෑ මොකද මටත් ආයේ කැම්පස් පැත්තේ යන්න ඕනි නිසා .

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම ගුණයහපත් තැන්පත් කෙනෙක් වෙච්ච මේ අක්මාල් කොලුවා ටිකක් විතර කොට ජීවිතයක් ඉතින්. ඉගෙනගන්න වැඩ වලටත් සැහෙන්න දක්ෂයෙක් වගේම විශේෂයෙන්ම මිනිහට හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කිව්වේ ඔය වල් පල් එහෙම නෙවෙයි පිරිසක් ඉස්සරහට ගිහින් බය නැතුව කතා කරන්න පුළුවන් මනුස්සයට. ඒක නිසා කතා පවත්වන්න එහෙම සෙට් උනාම බොහොම කැමැත්තෙන් තමයි වැඩේට එන්ටර් වෙන්නේ. මේ කියන්න යන කතාව උනෙත් මුගේ මේ හැකියාවයි කැමැත්තයි නිසා තමයි .

වාණිජ අංශයෙන් උසස්පෙළ කරපු කිඹුලා යි අපේ අක්මාල් කොලුවයි දෙන්නම ගිණුම්කරණයට ක්ලාස් ගියේ ඒ දවස්වල (තවමත්) මහනුවර දිස්ත්‍රික්කයේ ඉහලම ප්‍රතිපල හැම අවුරුද්දකම ගන්න සමත් උන පාලිත යාපා බණ්ඩාර සර්ගේ  . සර් පන්ති කරේ මහනුවර ආනන්ද විද්‍යාලය කියන ශාලාවේ . මේ සිද්දිය උනේ ක්ලාස් ඉවර කරන දවසේ . එදා සර්ගේ කණ්ඩායම් පන්තියේ අය සහ ශාලා පන්තියේ අය ඔක්කොම එකතු කරලා තමයි අන්තිම පන්තිය කරේ . එදා විභාගය ඉලක්ක කරලා සකස් කරපු විශේෂ ප්‍රශ්න පත්තරේකුත් පන්තිය අවසානයේ දී බෙදල දෙනවා කියපු නිසා වෙනදට වල බහින උනුයි වැස්සකටවත් පන්තියට එන්නේ නැති එවුනුයි ඔක්කොම පන්තියට ඇවිල්ල සෑහෙන සෙනගක් හිටිය . 1000ක් වත් ඉන්න ඇති අඩුම ගානේ. 

ඉඳගන්න ඉඩ නැතුව බොහොම අමාරුවෙන් බංකු වල එල්ලිලා තමයි දවසම පන්තිය කරේ .ඔන්න පන්තිය ඉවර වෙන්න දැන් ලඟයි . සර් ළමයින්ට කතා කරලා දැන් ඔන්න එක අය කතා පවත්වන්න එහෙම ගත්ත. ගෑනු ළමයෙක් මුලින්ම කතාවක් කරා . තව කොල්ලෙක් සිංදුවකුත් කිව්වා . තවත් කතාවක් . ඔන්න ඊට පස්සේ තමයි මේ ඓතිහාසික මොහොත උදා උනේ. අපේ අක්මාල් කොලුවත් පැනගෙන ගියා ............කතාවක් කරන්න,

ඔන්න ඉතින් මනුස්සය බොහොම සාරගර්භ විදිහේ කතාවක් කරනවා. ටිකෙන් ටික ඒ කතාව හැඟීම්බර වෙනවා . මෙන්න ඒක අහගෙන ඉන්න ගමන් ගෑනු ළමයි අඬන්නත් ඔන්න මෙන්න දැන්. ඇයි ඉතින් අවුරුදු දෙක හමාරක් විතර පන්ති ඇවිත් අද අන්තිම දවසනේ . සර් ටත් අප්සට් ගහල වගේ ටිකක් . පැහැදිලිව පෙන්න තිබුන සමහර ගෑනු ලමයින්ගේනම් කඳුළු වැටෙන්න ඔන්න මෙන්න . ඔන්න දැන් අපේ අක්මාල් කොලුවා කතාව ඉවර කරන්නයි යන්නේ.

පන්තියේ කිසිම සද්දයක් නෑ . කට්ටිය මීයට පිම්බා වගේ නිශ්ශබ්ධයි. පන්තියේ හිටපු එකෙක්වත් හිතන්න නැතුව ඇති අපේ අක්මාල් කොලුවාගේ ජීවිතේ කුජීතම මොහොත තව සුළු මොහොතකින් උදා වෙනවා කියල. ඔන්න කතාව යනවා.

(කළු වලාකුලක් ඇවිත් ඉර මුවා කරගත්ත මේ වෙනකොට , සිතල ඒ වගේම මූසල හුළඟක් ඇවිත් කන්දක් උඩ තියෙන ආනන්ද විද්‍යාලය ශාලාවේ ඉහල මහලේ යකඩ කූරු ගහපු ජනෙල් වල පින්න එනවට එල්ලලා තිබුන රෙක්සින් ජනෙල් රෙදි පට පට ගාල වැදෙන්න පටන්ගත්ත )

"අපිට අවුරුදු දෙක හමාරක් උගන්නල අපිට ඉහලම ප්‍රතිපල ලබාගන්න උදව් කරන අපේ පාලිත සර්ට මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා "

ඒ ගමන්ම මම ප්‍රාර්ථනා කරනවා අපේ පාලිත සර්ට  නිවන් සැප ලැබේවා .................කියල මූ කතාව ඉවර කරා කියපන්කො 

තප්පර දෙක තුනක් කට්ටියම වෙච්ච දේ හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ හිටියා .ඔන්න ඊට පස්සේ අර අඩන්න ඔන්න මෙන්න හිටපු උන් සෙට් එකයි අනිත් සෙට් එකයි හිනා වෙන්න පටන්ගත්ත ඉවරයක් නැතිව ඔන්න තව තප්පර දහයකට විතර පස්සේ තමයි අක්මාල් කොලුවට සිද්දිය තේරුනේ. සර් හිනාවෙනවා ඒ අස්සේ ඔක්කොටම වඩා පස්සහ පේලි  වල කොල්ලෝ නැගිටලා උඩ පැන පැන හිනාවෙනවා . ඒක විකාරයි පන්තිය ඇතුලේ. විනාඩි දහයක් විතර හිනාවෙලා බඩවල් රිදෙන්න ගත්තම තමයි ඔන්න කට්ටිය හිනාව ටිකක් අඩු කර ගත්තේ. 

පස්සේ ඉතින් සර් මැදිහත් වෙලා ඔහොම තමයි කාට උනත් වැරදීම් වෙනවා කියල අරූව පොඩ්ඩක් ශේප් කරේ.

මේ ලඟදි දවසක අක්මාල් කොලුවව මුණගැහිලා මම ඇහුව ඇයි බන් උඹ අර වගේ කතාවක් කිව්වේ කියල. 
"කලින් දවසෙ මළගෙදරක නිදිමරලා ඇවිත් ඒ සිහියෙන් බන් හිටියේ . නිකන්ම කියවුනා ඉතින් " කිව්වනේ  

දැනට  උනත් විශ්ව විද්‍යාලේ දී හරි වෙන ඕනි තැනක නුවර පැත්තේ අපිත් එක්ක ක්ලාස් ගියපු ගෑනු ළමයෙක් මුණගැහුනම අර අක්මාල් (මුගේ හරි නම කිව්වත් ) ඉන්නෙත් අපේ බෝඩිමේ , අපේ කැම්පස් එකේ කිව්වට එකෙක්වත් දන්නේ නෑ . අර පාලිත සර් ට  නිවන් සැප ලැබේවා කියපු එකා කියපු ගමන් ඔන්න කට්ටියම දන්නවා .

කිඹුලා පරණ ෆොටෝ ගොඩක් අවුස්සලා බොහොම අමාරුවෙන් මේ ෆොටෝ ඒක හොයාගත්තේ. 2011 දී ඉතින් අපි ළඟ කොහෙද හොඳ කැමරා . මේකත් මම ගත්ත එකක් නෙවෙයි ගෑනු ළමයෙක් ෆෝන් එකකින් ගත්ත එකක්. ඔය ඉන්නේ අපේ අක්මාල් කොලුව පාලිත සර්  ඉස්සරහ කතාව පවත්වනවා . ඔය කුජිත සිද්දිය වෙන්න මොහොතකට පෙර ගත්ත ඓතිහාසික අමරණිය ඡායාරූපයක් 


7 comments:

  1. හයියෝ සල්ලි.. දවසක් මම ගියා අපේ ඉස්කෝලෙන් තියන වාග් ප්‍රතිභා විවාද තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්න. කිඹුලාතුමාගේ සහෝදර පාසලේ නායිකාව නැගිට්ට.. තිබ්බෙත් මොකද්ද ඉකොනොමිකල් මාතෘකාවක් තමා. මෙයා නැගිටලා එක පාරටම අර ඉස්සර පෙබල්ස් වලට ගිය add එක- එකෝමත් එක රටක මුහුද මැද්දේ ලස්සන දූපතක් තිබුන.... ඔන්න ඔහොම මුළු add එකම කියෙව්වා ඇක්ෂන් එක්කම.. ටීම් දෙකටම මැරෙන්න හිනා..

    ReplyDelete
  2. හි.හි.. අගෙයි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි

    ReplyDelete
  4. නිවන් සැප ලැබේව !

    ReplyDelete